Responsive image

පෙරවදන

1938 අංක:53 දරන ලංකා බැංකු ආඥා පනත යටතේ 1939 වසරේ අගෝස්තු මස 1 වනදා ලංකා බැංකුව මෙරට ජනතාව වෙනුවෙන් උපන්නේය. එවක මෙරට ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩිකොට් මහතා විසින් මෙරට පළමු රාජ්‍ය වාණිජ බැංකුව ලෙස කොළඹ කොටුවේදී ලංකා බැංකුව විවෘත කරන ලදී.

ලංකා බැංකුව යනු 1988 අංක:30 දරන පනත ප්‍රකාරව ස්ථාපනය කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවකි. ලියාපදිංචි කාර්යාලය අංක:01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත, කොළඹ 01 යන ස්ථානයේ පිහිටා ඇත.

අපගේ සේවාවන්

දශක හතකට අධික සිය සාඩම්බර ගමන්මග තුළ පුළුල් පරාසයක විහිදුනු මුල්‍ය සේවා ජනතාවට පිරිනමමින් මෙරට ප්‍රමුඛතම මුල්‍ය සේවා සම්පාදකයා බවට පත් වීමට ලංකා බැංකුව සමත්ව සිටී. වාණිජ බැංකුකරණය, වෙළඳ මුල්‍යයනය, සංවර්ධන මුල්‍ය පහසුකම්, උකස් මුල්‍ය පහසුකම්, කල්බදු පහසුකම්, ආයෝජන බැංකුකරණය, ආයතනික මුල්‍යයනය, රජයේ සුරැකුම්පත්, බැර කාඩ්පත්, විදෙස් බැංකුකරණය, විදේශ විනිමය මෙහෙයුම් සහ වෙනත් මුල්‍යමය සේවා රැසක් ලංකා බැංකුව ජනතාව වෙත හිමිකර දී ඇත. සිය වත්කම්, තැන්පතු සහ විදේශ විනිමය ප්‍රේෂණ සමගින් ලංකා බැංකුව මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස කිරුළු දරයි.

මෙරට සහ ඉන් පිටත තහවුරු කළ නාමය

එකිනෙකට සම්බන්ධ ශාඛා 627 කින් සමන්විත විශාලතම ශාඛා ජාලය සමගින් සෑම ශ්‍රී ලාංකිකයෙකු සමග සම්බන්ධ වීමට, ජාතියේ බැංකුව ලෙස ලංකා බැංකුව සමත්ව සිටී. 551 කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරන අතර වසරේ දින 365 සහ දවසේ පැය 24 පුරා ජනතාවගේ මුල්‍යමය අවශ්‍යතාවන් සපුරයි. ලංකා බැංකුවේ ආයතනික ව්‍යූහය තුළ අනු සමාගම් 13 ක් සහ සහකාර සමාගම් 5 ක් ලංකා බැංකුව සතු වේ.

පළමු වරට කරදිය වළල්ලෙන් එපිටට ගමන් කරමින් එක්සත් රාජධානියේ ස්ථාපනය කළ ලංකා බැංකු ශාඛාව අංග සම්පූර්ණ බැංකු පහසුකම් පිරිනමයි. මීට අමතරව, මාලදිවයින, චෙන්නායි සහ සීෂෙල්ස් හි ලංකා බැංකු ශාඛා තුනක් ස්ථාපනය කර ඇත.

865 කට අධික පුළුල්ම නියෝජිත බැංකු සහ විනිමය සමාගම් ජාලයට ද හිමිකම් කියන ලංකා බැංකුව, මෙරට සංක්‍රමණික ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, බහරේන්, ඕමාන්, සෞදි අරාබි රාජධානිය, ඊශ්‍රායලය, ජෝර්දානය, ඉතාලිය, දකුණු කොරියාව, ප්‍රංශය සහ ජපානය යන රාජ්‍යයන්හි විනිමය මධ්‍යස්ථානවල සිය නියෝජිතයන්ගේ සේවය ලබා දෙයි.

ශ්‍රේණිගතවීම්

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා සමාගමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, රු. බිලියන 41.0 ක සන්නාම අගයකින් යුතුව ලංකා බැංකුව අඛණ්ඩව 8 වන වරටත් මෙරට අංක එකේ සන්නාමය ලෙස කිරුළු දැරීය. M/s Fitch Ratings Lanka සමාගම ලංකා බැංකුවේ සවිමත් ප්‍රාග්ධන පදනම, ලාභදායීබව සහ වත්කම් ප්‍රමිතිය පිළිබිඹු කරමින් AA+ (lk) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමට ලක් කළේය. ICRA (ලංකා) සමාගම, ඔවුන් විසින් පිරිනමන ඉහළම තත්ත්ව ශ්‍රේණිගතකිරීමවන AAA ශ්‍රේණිය ලංකා බැංකුවට පිරිනැමුවේය. ලොව කීර්තිමත් පර්යේෂණ සමාගමක්වන "The Asian Banker" සමාගම 2015 වසරේදී මෙරට සවිමත්ම බැංකුව ලෙස ලංකා බැංකුව නම් කළ අතර, ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට එක් වීමට ද ලංකා බැංකුව සමත් විය. 2012, 2013, 2014 සහ 2015 යන වසරවලදී "The Banker" සඟරාව ලංකා බැංකුව මෙරට අංක එකේ බැංකුව ලෙස නම් කළේය. 2015 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA) සමස්ත රන් සම්මානය සහ තවත් ජයග්‍රාහී සම්මාන පහක් හිමිකර ගැනීමට ලංකා බැංකුව සමත් විය. ඉන්දියාවේ මුම්බායි නගරයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරීන්ගේ කවුන්සලය (CMO Council) 2013 වසරේදී ආසියාවේ විශිෂ්ටතම සන්නාමයක් ලෙස ලංකා බැංකුව ඇගයුමට ලක් කළ අතර, එවැනි දස්කමක් පෑ එකම ශ්‍රී ලාංකේය සන්නාමය ද ලංකා බැංකුවයි.

පරිපාලනය

රාජ්‍ය ආයතනයක් ලෙස මෙන්ම මෙරට බොහෝ ප්‍රතිපත්ති සහ ක්‍රමවේද සඳහා සාධනීය බලපෑමක් ඇති කරන ආයතනයක් ලෙස මහජන විශ්වාසය සහ ඔවුන්ගේ ආකර්ෂණය පවත්වා ගැනීම සඳහා ලංකා බැංකුව ආයතනික පාලනය තුළ විශිෂ්ටතම ක්‍රමෝපායන් අනුගමනය කරයි. සුගම රැකියා පරිසරය, වැඩිදියුණු කරන ලද මෙහෙයුම් කායක්ෂමතාව සහ සන්නාම ප්‍රතිරූපය සඳහා ආයතනික පාලනය තුළ ලංකා බැංකුව අනුගමනය කරන නීති සහ රෙගුලාසි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.

ප්‍රජාව

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රාජ්‍ය බැංකුව ලෙස ලංකා බැංකුව සියලු කොටස්කරුවන්ගේ යහපත උදෙසා සවිමත් ව්‍යාපාරයක් ගොඩනගන අතරතුර තිරසාර මුල්‍යයනය, පරාර්ථකාමී සහ සමාජයීය ආයෝජන හරහා මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.